හඬ නිහඬ

අධ්‍යක්ෂණය

නිෂ්පාදනය

ආචාර්ය ජයලත් මනෝරත්න

රචනය

ආචාර්ය ජයලත් මනෝරත්න

වර්ෂය

2016

චරිතය

ඡායාරූප
කර්තෘ සටහන

කලාකරුවන් යනු ජීවිත කාලය පුරාවට අනුන් සතුටු කිරිමට තම ජීවිතය කැප කරන පිරිසකි. එසේ වුව පොදුවේ ගත් කළ, ශ්‍රී ලාංකික බොහෝ කලාකරුවන්ගේ ජීවිත කෙළවර වන්නේ ඛේදනීය පරිසරයක් තුළිනි. ස්වකීය ජීවිත ගමනේ සැඳෑ කාලය මානසිකවත්, ශාරීරිකවත් යහපත් අයුරින් ගතකිරීමට අවශ්‍ය පසුබිම සකසා ගන්නා කලාකරුවන් ඉඳහිට දක්නට ලැබුනද, අසන දකින අත්දැකීම් අනුව නම් වැඩි ප්‍රතිශතයක අවසානය අතිශය සංවේදනීයය. චිත්‍රපටය, නාට්‍යය, සාහිත්‍යය, චිත්‍ර හෝ මූර්ති කලාව, නර්තනය, සාහිත්‍යය මේ කවර මාධ්‍යයකට වුව මෙය සාධාරණය.

මීට පෙර 1988 පමණ මා නිර්මාණය කළ "තල මල පිපිලා" නාටකයෙන් දැක්වූයේ, එබඳු සාම්ප්‍රදායික අගයන් රැකගත් පාරම්පරික නර්තන ගුරුවරයෙකුගේ ඛේදවාචකයකි. 1996 පමණ නිමාවූ "ගුරුතරුව" නාටකයේ අප කථා කළේ සමාජ, දේශපාන, අර්බුදයකට මැදිවන සාහිත්‍ය ගුරුවරයෙකුගේ සංවේදනාය. මේ අයුරින්ම "මහගිරිදඹ" (1980) නාට්‍යයේදී නාට්‍යකරුවෙකුගේද, "පුත්‍ර සමාගම" (1985) නාට්‍යයේදී ට්‍රම්පට් වාදකයෙකුගේද, "අන්දරේලා" (1993) නාට්‍යයේදී රජවාසල කවටයා ධූරයට පත්වු අහිංසක ගැමියෙකුගේද, "ලෝකය තනියායක්" සහ "සුදු රෙදි හොරු" නාටකවලදී සම්භාව්‍ය පද්‍යයන්ට ආදරය කරන්නන්ගේද ආදී වශයෙන් වූ කලාවට, සෞන්දර්යයට නෑකම් කියන චරිතවලට සිදුවු ඛේදවාචකයන් නිරූපණය විය.

මෙවර "හඬ නිහඬ" කෘතියට පාදක වනුයේ එබඳුම කලා මාධ්‍යයකට සම්බන්ධ ගායක පරපුරක අවිනිශ්චිත ජීවන ප්‍රකාරයයි. 1900 සිට 1930 පමණ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකේය සමාජය තුළ අති උත්කර්ෂයට නැංවුණු ග්‍රැමපෝන තැටියේ ගී ගැයූ විශිෂ්ට වූ ගායක පරපුර, කාලයාගේ ඇවෑමෙන් මුහුණ දෙන පෞද්ගලික හා සමාජ ජීවනයේ දුංඛාන්තයයි. ගුවන් විදුලිය පැමිණීම, රූපවාහිනිය පැමිණීම, නූතන විද්‍යුත් තාක්ෂණයේ ප්‍රවර්ධනය, නව පරපුරක් ඉදිරියේ වන අභියෝග, ශිල්ප ක්‍රම සහ ශෛලීන්හි නවතාවය, පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම්, මුදල සහ ජනප්‍රිය සංස්කෘතියේ වටිනාකමේ ඉහළයාම, සමාජය විසින් නොසළකා හැරීම, එබඳු කලාකරුවන් වෙනුවෙන් නියමිත ගෞරවනීය ක්‍රියාදාමයක් නොමැතිකම ආදී වූ කරුණු ගණනාවක් නිසා උද්ගත වන තත්වයන් රංගෝචිත ආකාරයෙන් භාවමය ප්‍රකාශනයක යෙදීම මෙහිලා නිර්මාණයවේ.

මා ඉපැදී හැදී වැඩුණු හඟුරන්කෙත ප්‍රදේශයේ දෙහිපේ ගම්මානයේ අප කුඩා කලදී ගුවන්විදුලි යන්ත්‍ර දකින්නට ලැබුනේ ගෙවල් හය හතක පමණි. අප නිවස පිහිටා තිබූ කඳුගැටය පාමුල වූ කුඩා තේ කඩයක විසරනය වුණු ඉමිහිරි ගීත නාදය ළමා විය අපගේ සෞන්දර්යාත්මක හැඟීම් පුබුදුවීමට සමත්විය. එම කඩේ මුදලාලිගේ නම අප නොදැන සිටියේ වුවද, ගමේ ඛෙහෝ දෙනා ඔහුව ඇමතූයේ "ජූස්" නමිනි.

ජූස් මාමා ගේ කුඩා තේපැන්හලින් නිකුත් වූ මේ ගීත නාදය මතුවූයේ ග්‍රැමෆෝන යන්ත්‍රයකිනි. විශාල මලක් සහ පෙට්ටියක්ද සහිත වූ මේ අරුම පුදුම මෙවලම කුඩා අපගේ කුහුල දනවන්නක්ද විය. කලූ පැහැ තැටියක් කරකැවෙන අතර Sound Box නමින් යුත් දිගුවක රැඳි කුඩා ඉදිකටු තුඩ එම තැටියේ ස්පර්ශවීමෙන් ගීත විසිර ගිය අතර එය එසේ සිදුවන්නේ කවර ප්‍රාතිහාර්යකින්දැයි ළමා අපට ගැටළුවක් මෙන්ම සතුටක්ද විය. වැඩිමල් ගැමියෙකුගෙන් එබඳු පැණයකට නිසි පිළිතුරක් නොලද ළමුන් එම කුහුලම සතුටකට පෙරලමින් විනෝදවන්නට වූහ. ජූස් මාමා ගීත තැටි තේරුවේ ඔහු එවේලාවේ සිටින භාවය අනුව නොවේදැයි යටගියාව ස්මරණය කරන මට දැන් සිතෙයි. ඔහු ප්‍රීති ප්‍රමෝදයෙන් පසුවූ අවස්ථාවක එබඳු ගීයක්ද. ශෝකී අරමුණක සිටියේ නම් එයට ගැලපෙන ගීයක්ද. කෝපයෙන් පසුවූ අවස්ථාවක නම් වේගරිද්මයකින් ගැයෙන ගියක්ද ග්‍රැමෆෝනයට දමා වයින් කර ස්වකීය භාවයන් සමනය කරගනියි. අඩුකුලේ කියාලා අසරණයා, රූ රැසේ අඳිනා ලෙසේ, සිළුමිණි සෑය වඳිම්, පනාමුරේ, මහ බෝධිමූලේ, ශ්‍රී සෙත් සාදයි, සුන්දර ශ්‍රීණි මනහාරි, රාජපණ්ඩිත නාග විමානේ ආදී වූ සුමියුරු ගී එදා ග්‍රැමෆෝනයෙන් රස විඳි බව දැනුදු මතකයට එයි.

ලෝකයේ මුලින්ම ශබ්දය වාර්තා වූ බවට සැළවනුයේ 1875 දී පමණය. තෝමස් අල්වා එඩ්සන් ග්‍රැමෆෝන යන්ත්‍රය නිපැදවූයේ බොහෝ විද්‍යාඥයන් විසින් ශබ්දය තැටිගත කිරීම සඳහා කරන ලද අපමණවූ පර්යේෂණයන් හා ගවේශණයන්වල ද ආධාර ඇතිවය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය "ග්‍රැමෆෝන ගී යුගය" කෘතියෙහි ලා පවසනුයේ "ග්‍රැමෆෝනය යනු කරකැවෙන තැටියක වංගු සහිත ඇලියක් හා සම්බන්ධ වන ඉඳිකටුවක යාන්ත්‍රික කම්පනය, වාතයට සම්ප්‍රේෂණය කිරීමෙන් ධ්වනිය උත්පාදනය කරන උපකරණයක්" වශයෙනි.

1905 වසරේදී ලංකාවට ඇපොතිකරිස් සමාගම විසින් ගෙන්වන ලද්දේ ග්‍රැෆොෆෝන් යන්ත්‍රය බවත්, ඉන්පසු වෝකර්ස් සමාගම විසින් ග්‍රැමෆෝනය ගෙන ආ බවත්, එම ග්‍රන්ථයෙහිලා සඳහන් වේ. එච්.එම්.වී., කොලොම්බියා, පාර්ලොෆෝන්, ඕඩියන් වැනි සමාගම් ඉන්දියාවෙන්, එංගලන්තයෙන්, ජර්මනියෙන්, තැටි ගෙන්වා ගීතය ඇතුළු කර තරඟකාරී වෙළදාමක නියැලූනහ.

"හඬ නිහඬ" නාට්‍යය ආරම්භ වන්නේද මෙම ග්‍රැමෆෝන ගී යුගය පසුබිම් කරගෙනය. විශේෂයෙන් ග්‍රැමෆෝන තැටි උදෙසා ගීත ගායනයේ යෙදෙන්නන්ගේ ජීවන චර්යාවන්ද, කලා මාධ්‍යයක් වශයෙන් ගීතයේ ඇති වටිනාකම මෙන්ම එය වෙළදපොල භාණ්ඩයක් බවට පත්වන නිසාම ව්‍යාපාර ලෝකය හා සැසෙඳන අවස්ථා සහ ගැටෙන අවස්ථාවන්ද ස්වකීය පවුල් ජීවිතය හෝ සමාජ දේශපාලන ජීවිතයේ අභියෝග අවස්ථාද පූර්ව භාගයේදී සාකච්ඡා වේ.

මිනිසා දේශපාලන සත්ත්වයකු වෙනවා පමණක් නොව සංවේදනා උපද්දවන සත්ත්වයකු බවද අමතක කළ යුතු නොවේ. විශේෂයෙන් කලා මාධ්‍යයන්හි නියැලෙන්නන්ගේ පොදු සමාජයීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවන පැවැත්මද අභියෝගාත්මකය. කුටුම්භයේදී "තනි පුද්ගලයෙකු" සේම සමාජයේදී "පොදු පුද්ගලයෙකු" ද වන නිසාමය. ආර්ථීකමය සීමාවන් නිසා ගෘහ ජීවිතයේ කඩාවැටීම් මෙන්ම, සෞන්දර්යාත්මක ප්‍රබෝදනය උදෙසා කුටුම්භ ජීවිතයේ කැපකිරීම්ද ඔහු අබියස ගැටළු මතුකරවයි. දේශපාලන හෝ සමාජ දෘෂ්ටිය විසින්ද ඔහුව මෙහෙයවනු ලබයි.

කාලය ගතවත්ම තමා නියැලෙන ගී තැටි ව්‍යාපාරය හැකිලෙමින් නව තාක්ෂණික මෙවලම් සහ සන්නිවේදන ජාලා පුළුල් වන්නට ගනියි. 1925 වනවිට ගුවන්විදුලිය ලංකාවේ ස්ථාපනයවේ. මව් මරා උපන් මල වශයෙන් එය හැඳින්වෙද්දී ග්‍රැමෆෝන යන්ත්‍රය නොපෙනී යන්නට වෙයි. එහෙත් ගී තැටි තවදුරටත් ගුවන් විදුලියට වුවමනා කෙරෙයි.

"හඬ නිහඬ" වෘතාන්තයේ මීළඟ අවදිය වනුයේ 1960 දශකයයි. ගුවන්විදුලිය නිසාම නව ගායක පරපුරක් බිහිවීම, ඉන්දීය අධ්‍යයනයන් හා වංග සංගීතයේ ආභාසය, කවියෙන් ඔදවත් වූ සාහිත්‍යමය ගී රචනා, කලාත්මක මාධූර්යයෙන් හෙබි ගායනා විලාස, නව තාක්ෂණික මැදිහත්වීම ආදී වූ කරුණු පසුබිමෙහි ගායක පරපුරක ජීවන රටාව බරපතල වෙනස්වීම්වලට භාජනයවේ.

අවසන් අදියර වෙන්වනුයේ නූතන සංගීතමය ස්වරූපය චිත්‍රණය කරලීමටත්, පැරැණි ගායක පරපුරක නික්ම යාමේ ඛේදය සංකේතවත් කිරීමටත්ය. "හඬ නිහඬ" අන්තර්ගතය එලෙස සැකසුනේ දශක ගණනාවක් මුළුල්ලේ අප ලැබූ සමාජයීය හා ජීවන අත්දැකීම් පාදක කරගනිමිනි. කලා ක්ෂේත්‍රයේ විශේෂයෙන් සංගීත ක්ෂේත්‍රයෙහි ලා අප ඇසුරු කළ පුද්ගලයන්, සිදුවීම් සහ පරිසරයන්ද. ආකෘතික වශයෙන් සහ දේශීය සංගීතය නම් වූ සංකල්පය ඇසුරෙන් ඛෙදි ගිය කණ්ඩායම් සහ ගුරුකුලයන්ද, අතීතයේ සිට මේ දක්වා වූ සංගීතය පිළිබඳ විවිධ මතවාදයන් ද විසින් මෙම වස්තු බීජය පෝෂණය කරන්නට යෙදිණ. "ජීවිතයේ හැන්දෑකාලය ගැන හිතන්ට ඕනෑ පාන්දරම" වැනි සංවාද ඛණ්ඩයක් විටෙක මෙම නාට්‍ය පිටපතේදී කියැවෙන්නේ අප සමාජය සතු බරපතළ තත්වයක්වන ජීවිතය කළමණාකරණය කර නොගැනීමේ ඛේදවාචකය නොවේද?

මෙහි රංග ආකෘතිය නිපැයුනේ ඉතා නිදහස්වය. පෙරදිගට හුරුපුරුදු නාට්‍ය ධර්මී රංග විශේෂය වඩාත් සමාජගත කිරීම උදෙසා, එපික් රීතියේ පිහිටුවන ලද වාර්තාරංග ආකෘතිය, රංගභූමියේ සරුසාර පල නොලාගත හැකි තෝතැන්නක් බව අපගේද විශ්වාසයයි. අන්දරේලා, ගුරුතරුව, සඳගිර, ලෝකය තනි යායක්, සුදු රෙදි හොරු, සෙල්ලම් නිරිඳු, වැනි නාට්‍ය කෘතීන් වලදී අපව මෙහෙයවූ එම ව්‍යායාමයේම දිගුවක් ලෙසයි "හඬ නිහඬ" වාර්තා රංගයද පිහිටා සිටිනුයේ. අන්තර්ගතයට උචිතවන පරිදි රූපණය, සංගිතය, සහ නර්තන රටා මුසුකරමින් නව අභ්‍යාස කළ හැකි අතිශය නිදහස්වූත්, ජනතාවට ලෙන්ගතුව සමීප කළ හැකි වූත්, ස්වරූපයක් (Form) වේ නම්, ඒ වනාහි මෙකියන ලද එපික් රීතියේ වාර්තා රංගය බව පසුගිය දශක තුන පුරා අප අවබෝධ කරගත් වැදගත් කරුණක් වෙයි.

නාට්‍යකරුවාගේ පාර්ශවය මතු නොව, මෙහිදී ප්‍රේක්ෂකයාද නිර්මාණාත්මකව, නිශ්පාදනාත්මකව, තර්කානුකූල ලෙස රංගීකෘත සහභාගීත්වයකින් රසිකයකු බවට පත්කරවයි. ඒ බව අපරදිග ග්‍රීක නාටකයේ සිට 19 වැනි සියවසෙහි සිවලොඩ් මේයර්හෝල්ඩ්, අර්වින් පිස්කැටෝර්, බර්ට්‍රෝල්ඩ් බ්‍රෙච්ට් මෙන්ම දක්ෂිණ භාරතයේ කුත්තු නාටක, පැරණි සිරිලක ගැමි නාටක, පාස්කු හෝ නාඩගම්, නූතන වීදි නාටකද ගවේශණය සහ සේවනය කරන ඕනෑම රසිකයෙකුට, සාක්ෂාත් වනු නිසැකය.

මනමෙ, සිංහබාහු, ලෝමහංස, වැනි සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නාට්‍ය වලින් පසුව ඇණහිටි නාඩගම් ආකෘතිය සමතික්‍රමණය කරමින් දයානන්ද ගුණවර්ධනයන් ගවේශණය කළ දේශීය වාර්තා රංගය එම රික්තය පුරවමින් දේශීය නාට්‍ය කලාවේ ඉදිරි ගමන් මග හසුරුවන සෞන්දර්යාත්මකවූත්, කලාත්මකවූත්, රංග ආකෘතිය නාට්‍ය ශිල්පීන්ගේ දැඩි අවධානයට යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි.

උපුටනය : (මීට පෙර අවසන් වරට මනෝරත්න විසින් රචනා කරන්නට යෙදුණු "සෙල්ලම් නිරිඳු" වාර්තා රංගය ගැන සුගත් වටගෙදර ගේ අදහසකි)

"………… අන්දරේලා නාට්‍යයෙන් ඇරැඹි මනෝරත්නයන්ගේ වාර්තාරංග ගමන් මගෙහි මුහුකුරා ගිය අවස්ථාවක් "සෙල්ලම් නිරිඳු" නාට්‍යයෙන් විද්‍යාමාන කරයි. ඔහුගේ සියළු නාට්‍යවල පොදු සාධකය සේ පෙනෙන කලාකරුවන්ගේ භූමිකාව නිරූපනයේ තවත් දිගුවක් වන මෙහි සත්‍ය දේශපාලන, ඓතිහාසික සමාජ පසුබිමක් පාදක කරගන්නා මුත්, එමඟින් මනුෂ්‍යත්වය හා බැඳි අභිප්‍රේරණයන් අතර සබඳතා කලාත්මකව නිරූපණය කරයි. ඉතිහාසයේ සත්‍යය හා කලාවේ සත්‍යය එකට ගට්ඨනය කරනා මනෝරත්නයන්, නාට්‍ය ආකෘතිය ගොඩ නගන්නේ, අපේ ජන නාට්‍යවල ඇති ප්‍රාසාංගික ලක්ෂණ විචාරාත්මකව භාවිතා කරමිනි. මෙහිදී ඔහු වාර්තා රංගයේ පුරෝගාමියා වූ අර්වින් පිස්කැටෝර් රීතියද, මාක්ස්වාදී තදාත්ම විඝඨන රීතියේ පුරෝගාමියා වූ බර්ට්‍රෝල්ඩ් බ්‍රෙච්ටි ගේ රීතියද, ජන නාට්‍ය රීති ඔස්සේ සම්භාව්‍ය නාට්‍ය රීති ගොඩනැගූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ දයානන්ද ගුණවර්ධනයන්ගේ රීතීන්ද එකසේ යොදා ගනී. එහෙත් මුළු නාට්‍යය පුරා මනෝරත්න ලකුණ විද්‍යාමාන කිරීමටද ඔහු සමත්වේ. වාර්තා රංගය වැනි ජනතාවට ළංවූ එහෙත් බැරූරැම් මඟකට පිවිසීම කවර නාට්‍යකරුවෙකුට හෝ පහසු නොවේ. ඒ සඳහා බොහෝ මූලාශ්‍ර පරිහරනය පමණක් නොව, අවශ්‍යදෑ තෝරා ගැනීමේ විචාර බුද්ධියද අපූර්ව වස්තු නිර්මාණයේ ප්‍රතිභාවද වුවමනාය දේශීය නාට්‍යකලාවේ උන්නතිය උදෙසා ස්වතන්ත්‍ර නිර්මාණ තව තවත් පළවුවමනාය. එය ආධුනික නාට්‍ය රසිකයන්ගේ මෙන්ම පොදු රසිකයාගේද අභිවෘද්ධිය පිණිසම වනු ඇත ………"

කතා තේමාව

"හඬ නිහඬ" කෘතියට පාදක වනුයේ කලා මාධ්‍යයකට සම්බන්ධ ගායක පරපුරක අවිනිශ්චිත ජීවන ප්‍රකාරයයි. 1900 සිට 1930 පමණ දක්වා කාලය තුළ ශි්‍ර ලාංකේය සමාජය තුළ අති උත්කර්ෂයට නැංවුණු ග්‍රැමපෝන තැටියේ ගී ගැයූ විශිෂ්ට වූ ගායක පරපුර, කාලයාගේ ඇවෑමෙන් මුහුණ දෙන පෞද්ගලික හා සමාජ ජීවනයේ දුංඛාන්තයයි. ගුවන් විදුලිය පැමිණීම, රූපවාහිනිය පැමිණීම, නූතන විද්‍යුත් තාක්ෂණයේ ප්‍රවර්ධනය, නව පරපුරක් ඉදිරියේ වන අභියෝග, ශිල්ප ක්‍රම සහ ශෛලීන්හි නවතාවය, පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම්, මුදල සහ ජනප්‍රිය සංස්කෘතියේ වටිනාකමේ ඉහළයාම, සමාජය විසින් නොසළකා හැරීම, එබඳු කලාකරුවන් වෙනුවෙන් නියමිත ගෞරවනීය කි්‍රයාදාමයක් නොමැතිකම ආදී වූ කරුණු ගණනාවක් නිසා උද්ගත වන තත්වයන් රංගෝචිත ආකාරයෙන් භාවමය ප්‍රකාශනයක යෙදීම මෙහිලා නිර්මාණයවේ.

දර්ශන

මංගල දර්ශනය - "හඬ නිහඬ" නාට්‍යයේ මංගල දර්ශනය 2016 මාර්තු 3 වන දින සවස 6.45 ට කොලඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවේ.