ගුරුතරුව

අධ්‍යක්ෂණය

ආචාර්ය ජයලත් මනෝරත්න

නිෂ්පාදනය

ආචාර්ය ජයලත් මනෝරත්න

රචනය

ආචාර්ය ජයලත් මනෝරත්න

වර්ෂය

1996

චරිතය

සාහිත්‍ය ගුරුතුමා

ඡායාරූප
කර්තෘ සටහන

"ගුරුතරුව" මගේ පස්වැනි නාට්‍ය නිර්මාණයයි. සිව්වැනි ස්වතන්ත්‍ර රචනයයි.

"ගුරුතරුව" සාහිත්‍ය කෘතියක් වශයෙන් පාඨකයන් අතට පත්වන මේ මොහොත වනවිටත්, එහි නිෂ්පාදනය, දහස් සංඛ්‍යාත වූ ප්‍රේක්ෂකයන් අභිමුව රංගගත වෙමින් පවතියි. මුල් මාස හය ඇතුළත පමණක් එහි වූ දර්ශන වාර ගණන සියයකට ආසන්න වී තිබිණ. ලාංකික නාටය ක්ෂේත්‍රයෙහි ලා මෙය වැදගත් සිද්ධියක් වන්නේ, එම කාල පරතරය සමඟ වූ සංඛ්‍යාව මත පමණක්ම නොව, පැරණි සාහිත්‍යය පත පොත සහ මෑත කාලීන සාහිත්‍ය ගුරුවරයාද විෂයය කරගත් මෙබඳු අර්ධ වාර්තා රංගනයක් කෙරෙහි, පුරන් වී ඇති නාට්‍ය ක්ෂේත්‍රයෙහි මතු වූ රසික-විචාරක අවධානයද සැලකිල්ලට ගත්විටය.

මෙම කෘතිය සම්පාදනය කිරිමෙහිලා මා පොළඹ වූ කරුණු අතර ප්‍රධාන ප්‍රවාහයන් දෙකක් විය. ඉන් එකක් නම්, පැරණි සිංහල සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ එන ගී කාව්‍ය, සිව්පද, සිලෝ ආදිය ගායනා ආකාරයෙන් ප්‍රසංගකොට, මෙකල දැඩි අවධානයක් නොමැති එබඳු විෂයයක් කෙරෙහි රසික සිත පුබුදු කරවාලීමය. දෙවැන්න නම් අප පාසැල් සමයේ වීරවරයා මෙන්ම, ජනප්‍රියතම ගුරුවරයා වූද, අධ්‍යයන විෂයය පටිපාටියට පරිබාහිරව සමාජ ජීවිතයේ ගැඹුර හා සෞන්දර්යයද පසක් කරලීමට වෙහෙස ගත්තා වූද, සාහිත්‍ය ගුරුවරයා, අප කෙරෙන් මඳින් මඳ ඈත්වි යාමේ ඛේදවාචකයයි.

කෙසේ වෙතත් මෙම කේන්ද්‍රීය වස්තුව නිරීක්ෂණය කිරිමටත්, රචනා කිරීමටත් ගත කළ වසර දෙක තුන තුළදීම මා අභිමුව වූ ගැටළුද කිපයක්ම විය. අද වැනි සංකීර්ණ වූත්, වේගවත් වූත්, තරඟකාරී වූත් සමාජ වටපිටාවක දී, රංග ශාලාවට එක්රොක් වන රසිකයා දැඩි නිසොල්මනේ හිඳිමින් මේ ඉපැරණි කවි ගායනා ශ්‍රවණය කරාවිද ? "ගැටුම" කේන්ද්‍රීය කරගත් නාට්‍ය මාධ්‍යයේ දී සම්භාව්‍ය පද්‍යරචනා ඊට ඇතුළත් කරගැනීමේ ශක්‍යතාවයක් තිබේවිද ? සංවේදි සමාජ සත්ත්වයකු වූ මිනිසාගේ ආවේග, හැඟීම්, සංවේදනා අද වැනි සාමජයකදී ප්‍රකාශ කිරීමට පැරණි කවිය සමත් වේවිද? විවිධ වූ හේතූන් නිසා කෙමෙන් කෙමෙන් පාසැලෙන් ඈත්වන සාහිත්‍ය ගුරුවරයා සහ මේ කියන පැරණි සාහිත්‍යය අතර ඇති සහ සබඳතාවය දෘශ්‍ය කාව්‍යයකට අන්තර්ගත කළ හැකිද ? එබඳු වූ අන්තර්ගතයකට උචිත නාට්‍ය ආකෘතිය කවරාකාර විය හැකිද ?

මෙම කරුණු පිළිබඳව ප්‍රේක්ෂක-පාඨක දෙපාර්ශවයේම අවධානය යොමුවන්නේ නම් එය අපගේද සතුටයි.

"ගුරුතරුව" කතා සන්දර්භය ගොඩ නැඟුනේද ආරම්භ යත්න ප්‍රාප්ත්‍යාශා-නියතාප්ති ඵලාගම ආදී වශයෙන් වූ සංස්කෘත දෘෂ්‍ය කාව්‍ය රීතියේ ඡායාවද ඇසුරු කරගනිමිනි. මූලික පිටපතේ දැවටී තිබූ අර්ධ වාර්තාමය ස්වරූපය එලෙසින්ම ඉතුරුවීමට ඉඩ හරිමින් නිෂ්පාදන ආකෘතිය ගැමි නාටකද, වාර්තා රංගයද සමීප කරගැනීමට මම කැමැත්තක් දැක්වූයෙමි.

අඳුරු ගුහාවක අතපත ගාන්නාක් මෙන්, මෙබඳු කෘතියකට අවැසි තොරතුරු සම්පාදනය කරගැනීමේදී සහ නිරීක්ෂණය කිරිමේ දී දහසකුත් කාර්යයන් මැද අවිවේකයෙන් වුවත්, ප්‍රදීපස්ථම්භයක් මෙන් මා පසු පස සිටියේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. සුගත් වටගෙදර, රංජිත් ධර්මකීර්ති, මහාචාර්ය ජේ. බී. දිසානායක, කථීකාචාර්ය සරත් විජේසූරිය මුල් පිටපත කියවමින් මා දිරිමත් කළ අය අතර වූහ. කේ.ඇම්.අයි. ස්වර්ණසිංහ සුමිතුරාණෝ පොත් කංචුකය සැරසූහ. සිරිසුමන ගොඩගේ මැතිඳු අත්පිටපත මුද්‍රණය කරවීමට ඉතසිතින්ම කැපවූහ.

බිරිඳ ජයන්ති, පුතු භානුක සහ දූ උත්පලා ද ඔවුනට හැකි පමණින් මේ කාර්යයෙහි ලා මට සෙනෙහස පෑහ. මේ සියළු දෙනාට පිං පමුණුවමි.

සහභාගී වූ ශිල්පීන්

භූමිකා නිරූපණය :

ජයලත් මනෝරත්න : සාහිත්‍ය ගුරුතුමා
රත්නා ලාලනී තෙන්නකෝන් : සංගිත ගුරුතුමිය
සුමින්ද සිරිසේන : මුල් ගුරුතුමා
ලාල් කුලරත්න : නැටුම් ගුරුතුමා
සම්පත් තෙන්නකෝන් : මධුර මුදලාලි
දයාදේව එදිරිසිංහ : ඉතිහාස ගුරුතුමා / i මධුර සගයා
රොඩ්නි වර්ණකුල : සූත්‍රධර / මුරකරු / ශිෂ්‍යයා
ප්‍රියන්ත සෙනෙවිරත්න : ඉංග්‍රීසි ගුරුතුමා / සැන්ඩෝ
සරත් චන්ද්‍රසිරි : ටිකිරි බණ්ඩාර
ශ්‍රීනාත් මද්දුමගේ : ii මදුර සගයා
සෝමපාල පතිරගේ : ශිෂ්‍යයා / i පියා
රවීන්ද්‍ර යසස් : ශිෂ්‍යයා
ජගත් ඛෙනරගම : ශිෂ්‍යයා
සනත් විමලසිරි : ශිෂ්‍ය / ii පියා / iii මධුර සගයා
අනූෂා පෙරේරා : ශිෂ්‍යාව
මනෝරි විජේවර්ධන : ශිෂ්‍යාව
රුවිනි ලියනගේ : ශිෂ්‍යාව
ජගත් පද්මසිරි : ශිෂ්‍යයා / බාසුන්නැහෙ

නිර්මාණ දායකත්වය

සංගීත නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය : රංජිත් බාලසූරිය
වාද්‍ය වෘන්දය : දයා බණ්ඩාර ඉලංගකෝන්, තිස්ස විජේරත්න, ලාල් සුධර්මන්, තිලකරත්න පීරිස්, විද්‍යාරත්න ප්‍රනාන්දු, එච්.බී. වසන්ත කුමාර
නර්තන නිර්මාණය : විද්‍යාරත්න ප්‍රනාන්දු
රංගභූමි අලංකරණ හා රංග භාණ්ඩ නිර්මාණය : ලයනල් ඛෙන්තරගේ
ඇඳුම් නිර්මාණය : සුවිනීතා පෙරේරා
අංග රචනය : ජගත් පද්මසිරි
රංගාලෝකය : උපාලි රූපසිරි
ඇඳුම් සැකසීම : කමල් කාන්ති බෝගොඩ
රංග භූමි පාලනය : සුනෙත් නන්දලාල්
සහාය : අශෝක සොයිසා, කේ. කේ. චන්ද්‍රකුමාර, නිශ්ශංක ගුණසුමන
ප්‍රචාරක සැලසුම් : උපාලි හේරත්
කළමණාකරණය : සෝමපාල පතිරගේ
ඉදිරිපත් කිරිම : 80 කණ්ඩායම
රචනය සහ නිෂ්පාදනය : ජයලත් මනෝරත්න

කතා තේමාව

වාර්තා රංග ශෛලිය පිලිබඳ ව නැවුම් ව ලබාගත් අධ්‍යාපනික කරුණු සහ ප්‍රායෝගික අත්දෑකීම් ද විසින් "ගුරු තරුව" රචනා වන්නට ඇතැයි ආපසු හැරී බලන අයට කල්පනා මාත්‍ර උපදියි. පැරණි සිංහල සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ පැනෙන ගී කාව්‍ය, සිලෝ, සීපද ආදිය ගායනා කොට, යළිත් වරක් රසික අවධානය එදෙසට යොමු කිරීමත්, අප පාසල් සමයේ වීරවරයා, නෑතහොත් ජනප්‍රියම ගුරුවරයා වූ,පන්ති කාමර ඉගෑන්වීමට ම පමණක් ම නොව, ජීවිතයේ ගැඹුර සහ සෞන්දර්යය ද උගැන්වීමට උත්සුක වූ සාහිත්‍ය ගුරුවරයා මුහුණ දෙන ඛේදවාචකය ට අවධානය යොමු කරවීමත්, එකී වාර්තා රංග ආකෘතියට අන්තර්ගත කළ හැකි කතා වස්තුවක් විය හැකියැයි අප කල්පණා කරන්නට ඇත.කෙසේ වෙතත්, ගුරු තරුව නාටකය රචනා වීමට සමීපත ම සාධකය නම්, පැවති රජයක් විසින් සාහිත්‍යය සහ ඉතිහාසය යන විෂයයන් පන්ති කාමරයෙන් ඉවත්කිරීමේ වේදනා භරිත අත්දෑකීම වූවාට සැක නැත.

දර්ශන

මංගල දර්ශනය - "ගුරුතරුව" නාට්‍යය මුල්වරට රංග ගත වූයේ 1996 දෙසැම්බර් මස 19 වන දින කොළඹ ලුම්බිණි රඟහලේදීය.

විචාර
"ගුරුතරුවට" පෙරවදනක් - හෙන්රි ජයසේන විසිනි

ගුරුතරුව මෙම අවධියේ බොහෝ නාට්‍ය මෙන් නරඹන්නා ප්‍රකෝප කරවන නාට්‍යයක් නොවේ. එය අති ප්‍රසන්නවූත් සංවේදීවූත් නාට්‍යයකි. සාහිත්‍ය, ඉතිහාසය හා සදාචාරය අමතක කළ ජාතියක් ඉදිරියේ ඇත්තේ ප්‍රපාතයක් පමණි. "ගුරුතරුව" අපට කියාදෙන පාඩම එයයි.

"ගුරුතරුවට" පෙරවදනක් - එරික් ඉලයස්ආරච්චි විසිනි

ජයලත් මනෝරත්නයන්ගේ "ගුරුතරුවෙන්" නරඹන්නා දකින්නේ හදවතක් තිබුණු සමාජයක හදවක අහිමිවී ගිය විලාසයයි. රතු මලක් අතට දී හදවත මිය පරලොව ගිය විලාශයයි. ගුරුවරයා ශිෂ්‍යයා හා සාහිත්‍ය කලාව ගුරුතරුව නාටකයට තේමාව වේ. රටේ ප්‍රාණ වායුවද අවසන් හුස්මද යන වග තෝරා බේරා ගැනීමට බැරි තරමට ව්‍යාකූලව ඇති අධ්‍යාපන ක්‍රමය මේ තුළ නිරූපනය වන්නේ දුක්බර ස්වර මාලා සහිත ගුරු ගීතයක් වශයෙනි.

ආශ්‍රිත ග්‍රන්ථ

ගුරුතරුව රචනයෙහිලා ආශ්‍රිත වූ ග්‍රන්ථ හා ලිපි

ගුරු සටන : දේ. පීටර් සිල්වා
ප්ලේටෝගේ සාහිත්‍යය හා නිර්මාණ : කමනී ජයසේකර
ධර්මිෂ්ඨ සමාජය : එදිරිවීර සරච්චන්ද්‍ර
මැදි විදුහල් විප්ලවය : අලවත්තාගොඩ පේමදාස
ගුරු ගීතය : චෙන්ගීස් ආයිත්මාතව්
සාහිත්‍ය නිර්මාණය : සරත් විජේසුරිය
රන්රෝස : කොන්ස්ටන්ටැයින් පවුස්නාවුස්කි (පරිවර්තනය ආරියවංශ රණවීර)
සංස්කෘත නාට්‍ය කලාව හා අභිඥාන ශාකුන්තල්‍යය : සුචරිත ගම්ලත්
නාට්‍ය දෘෂ්ඨි හා රත්නාවලිය : එම්. එච්. ගුණතිලක
සිංහල කාව්‍ය සම්ප්‍රදාය : ගුණදාස අමරසේකර
පොළවට පෙම්බැඳි මිනිස්සු : සියැටිල් - පරිවර්තනය එස්. සී. පිලිප්ස් (ජෙනී)
සුභාෂිතය : අලගියවන්න මුකවෙටි
ලෝකෝපකාර : රනස්ගල්ලේ හිමි
ලෝවැඩ සඟරාව : වීදාගම හිමි
ගංගාරෝහණ වර්ණනා විවරණය : කුමාරතුංග මුනිදාස
කපිල කවි : ගුන්නෑපාන වජිරඥාන විමලරත්න කුමාරගමගේ එකතු කළ කවි : සුසිල් සිරිවර්ධන, එස්. විජේසූරිය
ප්‍රශස්ථී කාව්‍ය රසය : ජේ. ඊ. සේදරමන්
මහින්ද ප්‍රබන්ධ : සුනිල් ආරියරත්න
ගුත්තිල කාව්‍යය : වෑත්තෑවේ හිමි
නූතන දේවදත්ත : මලල්ගොඩ
සින්දු විස්තරය : සුනිල් ආරියරත්න
මයුර සන්දේශය
තිසර සන්දේශය
සැළලිහිණි සන්දේශය
විනෝද කාව්‍ය සංග්‍රහය
රාජෞෂධනිධිය