අන්දරේලා

අධ්‍යක්ෂණය

ආචාර්ය ජයලත් මනෝරත්න

නිෂ්පාදනය

ආචාර්ය ජයලත් මනෝරත්න

රචනය

ආචාර්ය ජයලත් මනෝරත්න

වර්ෂය

1993

චරිතය

අන්දරේ

ඡායාරූප
කර්තෘ සටහන

"අන්දරේලා" මවිසින් නිර්මාණය කරනු ලැබූ සිව්වන නාට්‍ය කෘතියයි. මීට පෙර "මහගිරිදඹ" සහ "තලමල පිපිලා" ස්වතන්ත්‍ර රචනාද, "පුත්‍ර සමාගම" පරිවර්තිත පිටපතද මා අතින් රංගයට නැඟිණ. අන්දරේලා ස්වීය රචනය ගැන කතාකිරීමට පෙර, උක්ත නාටක ත්‍රිත්ත්වය ගැන වරෙක විද්වතෙකු කළ සටහනක් සිහිපත් කරනු කැමැත්තෙමි.

"…… සමස්ත වශයෙන් සළකා බලන කල්හි මනෝරත්නගේ නාට්‍ය ත්‍රිත්වයෙහි අන්තර්ගතයේ සාම්‍යත්ත්වයක් ඇත. "මහගිරිදඹෙහි" ගුරුජි, "පුත්‍ර සමාගමේ" සරාෆ්නොව්, "තලමල පිපිලාහි" රංබරනා ගුරුන්නාන්සෙ යන මුඛ්‍ය චරිත සියල්ලෙන් නිරූපනය කරන්නේ කලාකරුවන්ගේ චරිතය. මනා මානව සම්බන්ධතා ඉහළින්ම අගයන මොව්හු, මානව හිතවාදීහුය. සමාජ සම්බන්ධතා බිඳවැටීම පිළිබඳ කම්පාව මෙන්ම කල්පිත ලෝක පිළිබඳ සිහින මැවීමද දැකිය හැක …… මුඛ්‍ය චරිතවල සාම්‍යත්ත්වය මෙන්ම එකී චරිතයන් අයත් වන පංති පරාසයද බොහෝදුරට සමානය …. හැමෝම පීඩිත පංතිකයෝය …"
සුගත් වටගෙදර

දැනුවත්ව හෝ නොදැනුවත්ව "අන්දරේලා" නාටකයේද කේන්ද්‍රීය චරිතය වී ඇත්තේ කලාකරුවෙකි. රජවාසල කවටයකු - කවියෙකු - කතන්දරකරුවෙකු ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් ඇසුරෙහි විසූ අන්දරේ ගැන අටුවා-ටීකා අනවශ්‍යය. එහෙත් ඉතිහාසයේ කෙසේ වෙතත්, අප ජන සම්ප්‍රදායේ එන අන්දරේ නම් වූ චරිතය, මෙම නාටකයෙහි ලා, ම විසින් යොදා ගනු ලැබුවේ සංකේතාත්මකව පමණි. මෙම කෘතිය "සීනි කෑ අන්දරේ" ගේ කතා පුවතක් නොවන්නේ එබැවිනි.

කලාකරුවන් සූරාකනු ලැබීම අප ඉතිහාසය පුරාම විහිද පවතින සත්තාවකි. එපමණක් නොව පාලකයන්ගේ අභිමතාර්ථ උදෙසා කලාකරුවන්ට කපටි අන්දමින් යොදවා ගැනීමත්,අවසන ඔවුන් දැහැටි දඬුමෙන් ඉවතලන අයුරුත් ප්‍රකට සංසිද්ධියකි. මෙහිදී තවත් විද්වතෙකුගේ සටහනක් අප මතකයට පිවිසෙයි.

"…… මෙසේ හෙයින් නැටුම්-ගැයුම්-වැයුම් වැනි කලාවන් පුහුණු කළ ගෝත්‍ර හා ශ්‍රේණිවල වූවන්ට එම කලා නිර්මාණ කාර්යය සඳහා යෙදිය හැකි වූයේ, කුඹුරු සී සා අස්වැද්දීමෙන් හා අස්වනු කැපීමෙන් ඉතිරි වූ කාලය පමණි. කලාව රාජකාරියක් වීමත්, එකී කලාකරුවන් තුළ අවශ්‍යයෙන්ම ඇතිවිය යුතු විශේෂඥතාවය වර්ධනය කරගැනීමට අවශ්‍ය විවේකය නොලැබීමත්, එම කලාවන්ගෙන් අපේක්ෂිත කාර්යය ව්‍යාජ, වෘත්තීය පදනමකින් කොටු කිරිමත් නිසා මෙම කලාකරුවෝ ආකෘතිය සමතික්‍රමනය කෙරෙන අන්තර්ගත විනිවිද යා නොහැකි රූකඩ රැසක් මෙන් යුත් සංදර්ශකයන් පිරිසක් බවට පත්වූහ. රාජ්‍ය මාහාමාත්‍යාදීන් ඇතුළු ප්‍රභූ පන්තියේ රසාස්වාදනය පිණිස පමණක් බිහිවූ මෙම කලාව, ස්වකීය පන්තියම කලාව අහිමි කර වූයේය ……”
ධර්මසේන පතිරාජ

ඈත ඉතිහාසයේ පමණක් නොව, අප අත දුර වූ මෑත ඉතිහාසයේදී කලාකරුවාගේ ඛේදවාචකය එයම විය. පීඩිත ජනයා වෙනුවෙන් නිදහස්ව-අදීනව සිය නිර්මාණ කුසලතාවය පුබුදු කළ අපේ කාලයේ කලාකරුවකු වූ නිහාල් සිල්වාගේ ඛේදනීය අවසානය ගැන සිත් යොමුකරන්න.

එසේ වුවත් "අන්දරේලා" රචනය කලාකරුවාගේ ඛේදවාචකය පමණක් හුදකලාව ආත්මය කොට නොගනී. එනිසාම එය වත්මන් සමාජ තත්ත්වයන් ස්පර්ශ කරමින් අතීත කාල පරාසයටද ගලා යනු ලබයි. ඒ වනාහී, පෘතුගීසි බලය බිඳ දමා සිය අණසක පතුරමින් සිටි ලන්දේසීන්ද, ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයට නතුවෙමින් සිටි කාලයකි. 18 වන සියවස අගභාගය වූ මෙකල කන්ද උඩරට පමණක් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් පැවතෙයි. සිය කූඨ උපක්‍රම බලසෙන් කොට, කෙමෙන් කන්ද උඩරටට ඇතුළුවන ඉංග්‍රීසීන්, කුරුඳු වෙළදාමේ ඒකාධිකාරය සහ සිය ආරක්ෂක හමුදාවේ ස්ථාවරභාවය ලබා ගැනීමටද තැත් දරති. අදිකාරම්-නිලමේ ආදී වූ දේශීය නායකයින්ද, සිහසුන කෙරෙහි වූ බල ලෝභයෙන් දෙකඩ වෙති.

මේ අතරතුර, ඉංග්‍රීසීන්ගෙන්ද, ප්‍රාදේශීය නායකයන්ගෙන්ද බදු බරින්ද පීඩාවිදි රටවැසියන්ගෙන් එල්ලවන අභියෝගය හමුවේ බලය රඳවා ගැනීමට රජතුමා ගන්නා උත්සාහයට, රජවාසළ කවටයකු පත්කර ගැනීමද එක්වෙයි. තමන්ගේ පාඩුවේ නිදහස්ව ගොවිතැනක් බතක් කරගෙන හුන් අන්දරේ නමැති ගොවියෙක් - ගැමි රසවතෙක් රජ අණින් කවටයා ධූරයට පත්වෙයි. වෘත්තීමය කවටයකු බවට පත්වෙන හෙතෙම "රාජකාරිය" උදෙසා විහිළු සපයයි. රට කැරළි වලින් ගහණවෙයි. රජු පසුබසියි. කන්ද උඩරට ඉංග්‍රීසි පාලනයට නතුවෙයි. අන්දරේ මාළිගය අතහැර සිය ගම්පියස සොයා ගියත්, කාලයා විසින් එගම විනාශකර ඇති බව පසක් කරගනියි …. ඉතින් දහඅටවන සියවසෙහි අග භාගයෙහි විසූවත්, විසිවන සියවසහෙි අගභාගයෙහි විසුවත්, අප බොහෝ දෙන අන්දරේලා නොවෙමුද? "අන්තිමේදී බලපුවාම අන්දරේලා අපි සේරම …"

මෙම පෙළෙහි එන කව් රචනා ගැනද වචනයක් පැවසීම වටනේය. අන්දරේගේ යැයි සැළකිය හැකි කවි රාශියක් ජනශ්‍රැතියේ පැවතුනද, මේවායේ කර්තෘත්ත්වය විවාද සහිතය. ජනකවි යයි සම්මත ඇතැම් කවි අන්දරේගේ පබඳනා ගොන්නට ද, අන්දරේගේ යැයි සැළකෙන කවි ජනශ්‍රැතියටද එක්වී තිබීමෙන්ම, "අන්දරේ" යන පුද්ගලයෙකු නොව සාමාන්‍ය ජනකවියා යැයි සිතන්නට තරම් රසිකයා පෙළඹෙනු නිසැකය.

"අන්දරේ" විසින් රචිත යැයි සැළකෙන කවිවලට අමතරව, මෙම පෙළෙහි අර්ථය සහ වර්ණය තීව්‍රකිරිමේ අදහසින්, බණ්ඩාර ඇහැළියගොඩ කිවිඳානන් විසින් එම විරිතෙන්ම පබඳනා ලද කවි රාශියක්ද මෙහි ඇතුළත් වෙයි

"අන්දරේලා" නාට්‍ය නිෂ්පාදනය ගැනද වචනයක් සටහන් කිරිම මැනැවැයි මම සිතමි. මුල් මාස නවය තුළ එය රංගගත කළ වාර ගණන එකසිය පනහකට ආසන්න විය. ශ්‍රී ලංකාව තුළ මෙම සංඛ්‍යාව වාර්තාවක්ද විය හැක. මේ කාලය ඇතුළත විදේශ සංචාර දෙකක්ද යෙදීම තවත් විශේෂත්ත්වයක් විය. සුළු කලක් ඇතුළත මේ සා රසික සංඛ්‍යාවක් "අන්දරේලා" වටා රොද බැඳගැනීමට එය පාදක කරගත් ගැමි නාටක රඟමඬල ආකෘතියත්, ජන ගායනා ආශ්‍රිත වූ ස්වර රටාවත්, කව්පද හා සරල බස්වහරත්, ඓතිහාසිකකරණය මඟින් වත්මන් සමාජරූප විශේලේෂණය කිරිමත් වැනි කරුණු හේතුවන්නට ඇතැයි අනුමාන කළ හැක. එසේද වුවත් ඒ ගැන හැදෑරීම නාට්‍ය විචාරකයන්ගේ කටයුත්තකැයි අදහමි.

ආචාර්ය සරච්චන්ද්‍රයන් විසින් දල්වනු ලැබූ පහන්පැල ආලෝකයෙන්, දයානන්ද ගුණවර්ධනයන් විසින් හෙලිපෙහෙලි කරනු ලැබූ "ගැමිරඟමඬල" ගැන යළිත් සිතා බැලීමට දැන් කාලය එළඹ ඇතැයි හඟිමි. දිනෙන් දින උග්‍රවන සමාජ සංකීර්ණතා මැද නාට්‍යකලාව අද ජනතාවගෙන් ඈත් වෙමින් පවතියි. ඉදින්, අරුත්බරව විකසිත කරගතහොත්, "ගැමිරඟමඬල" පුරන්වන නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රදීපස්ථම්බයක් වනු නිසැකය.

අත්‍යාවශයෙන්ම ගැමි රඟමඬලක ආකෘතිය ඉල්ලා සිටි "අන්දරේලා" පෙළ විසින්ද, ගම්බද තොවිල්පලක, ශාන්තිකර්මයක, ගැමිනාටකයක, කමතක, විහාර මළුවක හෝ හෙල්මැලි ලියැදි සහිත කුඹුරු පාමුලක ඉදිවිය හැකි නාටකීය රීතියක් මතුරකදී තිබිණ. විශේෂයෙන් සරච්චන්ද්‍රයන්ගේ සහ ගුණවර්ධනයන්ගේ දීර්ඝකාලීන පර්යේෂණ ඇසුරින් පිබිදුණු ගැමි නාටකය සහ වාර්තා රංගය, මෙම පෙළෙහි නිශ්පාදන රටාව ඔපවත් කරගැනීමේදී මා පසු පස වූ බව ගෞරවයෙන් සිහිපත් කළයුතුය.

සහභාගී වූ ශිල්පීන්

භූමිකා නිරූපණය :

අන්දරේ : ජයලත් මනෝරත්න
රජතුමා : සුමින්ද සිරිසේන
පිළිමතලව්වේ : නීල් අලස්
අන්දරේවතී : රත්නා ලාලනී තෙන්නකෝන්
රොබට් ඇන්ඩ්‍රෘෘස් : සම්පත් තෙන්නකෝන්
ජෝන් ජාවිස් : අජිත් ජිනදාස
රජබිසව : නිල්මිණි කෝට්ටගොඩ
i නිලමෙ / ඇමති : අජිත් ලොකුගේ
මැක්ඩොවල් / හේවායා : ශ්‍රීනාත් මද්දුමගේ
ඛෙරකරු / සස නිලමෙ : රවීන්ද්‍ර යසස් කුමානායක
තරුණයා / ගැමියෙක් : සුසිල් වික්‍රමසිංහ
ගැමියෙක් / හේවායෙක් : බණ්ඩාර ඇහැලියගොඩ
ii ඇමති /ගැමියෙක් : ජගත් මුතුකුමාරණ
iii ඇමති / ගැමියෙක් : සරත් චන්ද්‍රසිරි
අණබෙරකරු/ගැමියෙක් : සෝමපාල පතිරගේ
ගැමියෙක්/හේවායෙක් : කුමාර ලියනගේ
ගැමියෙක්/හේවායෙක් : ජගත් චම්පික බෙනරගම

නිර්මාණ දායකත්වය

සංගීත නිර්මාණය : රෝහණ බැද්දගේ
ඇඳුම් නිර්මාණය : සුවිනීතා පෙරේරා
නර්තන නිර්මාණය සහ රංග භාණ්ඩ : ලයනල් බෙන්තරගේ
සංගීත අධ්‍යක්ෂණය : රංජිත් බාලසූරිය
වාද්‍ය වෘන්දය : තිස්ස විෙජ්රත්න, දයා බණ්ඩාර ඉලංගකෝන්, තිලකරත්න පීරිස්, සිරිසේන සූරියාරච්චි, විද්‍යාරත්න ප්‍රනාන්දු
රඟමඬල මෙහෙයුම : නිශාන්ත පීරිස්, අශෝක සොයිසා, සුනෙත් නන්දලාල්
රඟමඬල ආලෝකය : උපාලි රූපසිරි
අංග රචනය : ජගත් පද්මසිරි
ප්‍රචාරක සැළසුම් : කේ.එම්.අයි. ස්වර්ණසිංහ
ඇඳුම් සැකසුම් : කමල් කාන්ති බෝගොඩ
ගීත රචනය : ජයලත් මනෝරත්න
කවිපද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
කළමණාකරණය : සෝමපාල පතිරගේ
ඉදිරිපත් කිරිම : 80 කණ්ඩායම
රචනය සහ නිෂ්පාදනය : ජයලත් මනෝරත්න

කතා තේමාව

කලා කරුවන් සූරාකනු ලැබීම ඉතිහාසය පුරාම විහිද පවතින සන්තාවකි. පාලකයන් ගේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් කලා කරුවන් ව කපටි අන්දමින් හීලෑ කර ගැනීමත්, අවසන ඔවුන් දැහැටි දඬු මෙන් ඉවත ලන අයුරත්, ප්‍රකට සංසිද්ධියකි.නිබඳව ගැමි ජනතාව පුබුදුවමින් අන්දරේ යැයි නාමිකව විසූ ඈත අතීතයේ පමණක් ම නොව,ස්වකීය නිර්මාණ ශ්‍රමයේ අරුමයෙන් රාජ රාජ මහාමාත්‍යාදීන් පින වූ කුසලත පූර්ණ නිහාල් සිල්වා ජීවත් වූ මෑත ඉතිහාසයේ ද කලාකරුවා ගේ ඛේදවාචකය එක සේ සමපාත නොවන්නේ ද? දහ අටවැනි සියවසෙහි අග භාගයෙහි විසූව ද,විසිවන සියවසෙහි අග භාගයෙහි විසූව ද රටවැසි බොහෝ දෙනා රජුන් සනසන හෝ රජුන්ට බියවන අන්දරේ ලා නොවන්නේ කෙසේ ද? අන්තිමේ දී බලපුවාම අන්දරේ ලා අපි සේරම...!

දර්ශන

මංගල දර්ශනය - "අන්දරේලා" නාට්‍යය මුල්වරට රංග ගත වූයේ 1993 දෙසැම්බර් 21 වන දින සවස 6.45 ට කොලඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී.

විචාර
"අන්දරේලාට" පෙරවදනක් - පරාක්‍රම කොඩිතුවක්කු විසිනි

ගජමන් පුවත නාට්‍යයෙන් පසු සිංහල කවියේ ඔද තෙද උතුරුවා දැමූ සජීවී කවි නළුව "අන්දරේලා" ය. බටහිර ගැමි ගී රසයෙන් ලොව දස දෙස රසික කැළ නැලවූ Sound of Music, Nun Story වැනි ජන සම්මානයට පාත්‍රවූ සිනමා කෘතීන් මට එහිදී සිහිපත් වූයේ මෙරට ගැමි අධ්‍යාත්මයෙන් පෝෂණය වීමට වාසනාවන්තයෝ අප අතර සිටිතැයි මට හැඟුණු බැවිනි. ඒ හැඟීම මට ඇති කළේ අපේ උත්තම ගණයේ නිර්මාණකරුවෙකු වන ජයලත් මනෝරත්නයන්ගේ "අන්දරේලා" නාට්‍ය සිංහල කවියේ තාල විශ්‍රැත භාවය නෛකශ්‍රීය මේ යැයි විදහා පෑ නිර්මාණ මංගල්‍යයක් වූ නිසාය.

"අන්දරේලාට" පෙරවදනක් - අත්තනායක එම්. හේරත් විසිනි

මනමේ, සිංහබාහු නරිබෑනා, මුහුදු පුත්තු, ගජමන් පුවත, මධුර ජවනිකා, සමඟ "අන්දරේලා" එක පෙළට තැබිය හැකි කාව්‍යමය රිද්මයක් මනෝ අපට ඉතිරි කරවයි.

ආශ්‍රිත ග්‍රන්ථ

අන්දරේලා රචනයෙහිලා ආශ්‍රිත වූ ග්‍රන්ථ හා ලිපි

මධ්‍යකාලීන සිංහල කලා : ආනන්ද කේ. කුමාරස්වාමි
ලංකාව-බටහිර ජාතින්ගේ පාලන සමය : එල්.එච්. හොරස් පෙරේරා
සිංහල විශ්ව කෝෂය : ඩී. ඊ. හෙට්ටිආරච්චි
ගජමන් පුවත : දයානන්ද ගුණවර්ධන
මාතර සාහිත්‍යය වංශය : පී. ඩී. එස්. වීරසූරය
ලංකා ඉතිහාසය-බ්‍රිතාන්‍ය සහ නිදහස් යුග : එස්. ජී. පෙරේරා පියනම
අන්දරේගේ කතා : ගොඩගම අරියධම්ම හිමි
අන්දරේ : නිමල් පේ. ගමගේ
ගජමන් නෝනාගේ කවි සීපද : බන්දුසේන ගුණසේකර
අන්දරේ සහ ගජමන් නෝනා : එච්. එච්. ගමගේ
රජවාසල කවටයා වූ අන්දරේගේ ජීවිත කතාව : ඩී. ඒ. ජයමාන්න
නුවනක්කාර කවටයා : ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර
ගැමි දිවිය සහ වප්මඟුල : ස්වර්ණ ශ්‍රි බංඩාර
සිරි විකුම් රජසිහ රජු ඇල්ලුදා : සුදත් ගුණසේකර
සිංහල කාව්‍ය සංග්‍රහය : ආචාර්ය ආරිය රාජකරුණා