තලමල පිපිලා

අධ්‍යක්ෂණය

ආචාර්ය ජයලත් මනෝරත්න

නිෂ්පාදනය

ආචාර්ය ජයලත් මනෝරත්න

රචනය

ආචාර්ය ජයලත් මනෝරත්න

වර්ෂය

1988

චරිතය

රංබරණා ගුරුන්නාසේ

ඡායාරූප
කර්තෘ සටහන

තලමල පිපිලා නාටකයෙහි පෙළ මා අතින් රචනාවීම ඇරඹුනේ, 1983 දී පමණය. එය නිමවූයේ 1988 දී පමණය. එහෙත් මෙහි මුල් බිජුවට මසිත පිළිසිඳුනේ මීට වසර විසිපහකට පමණ පෙර යැයි ආපසු බලන මට දැන් සිතේ. මා ඉපදී හැදී වැඩුණුු උඩරට ගම්බද පළාතේ රඟ දැක්වුණු සොකරි, කිඳුරු වැනි ගැමි නාටකත්, බලි, කෙම්බර වැනි ශාන්තිකර්මත්, ඒවායේ රඟපෑ ගැමියන් සහ ගමේ විහාරේ තේවාව කළ ගුණයා, රංබොරනා, සේදරමා ආදී වැඩිහිටියනුත්, ඔවුන්ගේ දෙවෙනි පරම්පරාවේ සාමාජිකයිනුත් එකී මූලාශ්‍ර අතර සැරිසරන්නට ඇත.

වැඩවසම් අර්ථ ක්‍රමයක වටපිටාව සහිත උඩරට ගම්මානයකට, නවීකරණය අතවනනා කාලපරාසයක දී, එගම වැසියනගේ ජීවන වෘත්තීන් සහ චෛතසිකයන් ද, එතෙක් පැවති සමාජ ආචාරධර්ම පද්ධතීන් සහ සාහිත්‍යය, කලා, සංස්කෘතික උරුමයන් දෙදරායාමත්, ඒ නිසාම කාලාන්තරයක් මුළුල්ලේ සම්ප්‍රදායිකව බද්ධ වී තිබුණු ගම සහ පවුල් සංස්ථාව මුහුණදෙන ඛේදවාචකයත් "තලමල පිපිලා" නාට්‍යයට කේන්ද්‍රීය විෂයයවේ. වසර 25 ක කාලයක් තුළ මනස් කරළියේ හැදී වැඩුණු යම් යම් චරිතයන්, සිද්ධින් සහ අත්දැකීම්, පසුගිය දශක එකහමාර තුළ අප සමාජ දේහයේ සිදුවු දැවැන්නත අර්බුදයන් හා කැටි වී මෙසේ සැබෑ කරළියක් දක්වා කළඑළි බැස ඇත.

කලාව සාහිත්‍යය ඇසුරින් චමත්කාරය, සෞන්දර්යය වහනය වුවද, නවීකරණයේ අනිටු විපාක විසින් විනාශයම ඉල්පී එන බැවින්, සුන්දර වස්තුවක් වුවද ගැමි විශ්වාසයනට අනුව අනිත්‍ය සිහිපත් කරවන බැවින්, "තලමල" මෙහිලා සංකේතාත්මකව යොදගනු ලැබිණි. සියවසකට ආසන්න කාලයක් තුළ පවත්නා ගසේ විනාශය ආරම්භවන්නේ, ගැමියනගේ ගෞරවාදරයට පත්වූ, ආහ්ලාදනීය වස්තුවක් සේ ගැළපෙන, මහා සැරසිල්ලක් බඳු තලමල පිපීමත් සමඟය. එනිසා නවීකරණය මුවාවෙන් අපගේ නෙත් සිත් ද ආටෝප සැරසිල්ලකින් වසා දමා, චිරාත් කාලයක් අප සතුව පවත්නා සම්ප්‍රදායික උරුමයන්, ගුණදහම් සහ උතුම් පුරුෂාර්ථද සිඳ බිඳ දමා, උදාර මිනිසුන් වසන පිරිපුන් සමාජයක් කරා වූ අපගේ ගමනද අවුරාලීමේ අභියෝගයටද අප අද මුහුණ දිය යුතුව ඇති බව යථෝක්ත පෙළෙන් අනාවරණය කිරීමට තැත් දැරුවෙමි.

සහභාගී වූ ශිල්පීන්

භූමිකා නිරූපණය :

රංබරණා ගුරුන්නාන්සෙ : ජයලත් මනෝරත්න
ගුණවංශ : නීල් අලස්
බාලබණ්ඩාර : ශ්‍රියන්ත මෙන්ඩිස්
මහේෂිකා : රත්නා ලාලනී ජයකොඩි
ඔකනල් : සම්පත් තෙන්නකෝන්
සභාපති : ලාල් කුලරත්න
හේතු : ජගත් චම්පික ඛෙනරගම
ලමින්දු : සෝමපාල පතිරගේ
මොල්ලිගොඩ : අජිත් ලොකුගේ
මහගෙදර : බණ්ඩාර ඇහැලියගොඩ
ජෝතිරත්න : කුමාර ලියනගේ
පලිපාන : එස්. එම්. සී. චන්ද්‍රරත්න

(පසු අවස්ථාවලදී ගුණවංශ චරිතය වසන්ත විට්ටච්චි විසින් ද, හේතු චරිතය භානුක මනෝරත්න විසින්ද රඟ දක්වන ලදහ.)

නිර්මාණ දායකත්වය

සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
සංගීත අධ්‍යක්ෂණය : රංජිත් බාලසූරිය
වාද්‍ය වෘන්දය : හර්බට් දයාශීල, තිස්ස විෙජ්රත්න, දයා බණ්ඩාර ඉලංගකෝන්
අංග රචනය : වසන්ත විට්ටච්චි
ඇඳුම් නිර්මාණය : සුවිනීතා පෙරේරා
රග භූමි අලංකරණය : වින්සන්ට් සුළුදාගොඩ
රංගාලෝකය : උපාලි රූපසිරි (රේඛා ආයතනය)
නර්තන නිමැවුම : චාන්ද්‍රි පීරිස්, හර්බට් දයාශීල
රංග භූමි පාලනය : චන්දන නිශාන්ත පීරිස් (ලකී)
සහාය : සුනෙත් නන්දලාල් (චූටි), අශෝක සොයිසා (මහේෂ්), අතුල චන්ද්‍රපාල (විජේ)
ප්‍රචාරක සැළසුම් : කේ. ඇම්. අයි. ස්වර්ණසිංහ
විශේෂ නාද ශික්ෂණය : ප්‍රේමලාල් අබේශීල

නිදි කුමරියගේ ගීතය සංකල්පය : කපිල කුමාර කාලිංග
ගායනය : එඩ්වඩ් ජයකොඩි, ලක්ෂ්මන් විජේසේකර, රෝහණ වීරසිංහ
කලමණාකරණය : සෝමපාල පතිරගේ
ඉදිරිපත් කිරිම : නිලංගනී සමරසේකර
රචනය සහ නිෂ්පාදනය : ජයලත් මනෝරත්න

සම්මාන

1988 රාජ්‍ය නාට්‍ය උළෙලේදී "තලමල පිපිලා" නාට්‍යය පහත සඳහන් ජයග්‍රහණයන් අත්කර ගන්නා ලදී.

හොඳම අධ්‍යක්ෂණය : ජයලත් මනෝරත්න
හොඳම නළුවා : ජයලත් මනෝරත්න
හොඳම රචනය : ජයලත් මනෝරත්න
හොඳම සංගීතය : රෝහණ වීරසිංහ
හොඳම සහාය නළුවා : ලාල් කුලරත්න

කතා තේමාව

වැඩවසම් අර්ථ ක්‍රමයක වටපිටාව සහිත උඩරට ගම්මානයකට, නවීකරණය අතවනනා කාලපරාසයක දී, එගම වැසියනගේ ජීවන වෘත්තීන් සහ චෛතසිකයන් ද, එතෙක් පැවති සමාජ ආචාරධර්ම පද්ධතීන් සහ සාහිත්‍යය, කලා, සංස්කෘතික උරුමයන් දෙදරායාමත්, ඒ නිසාම කාලාන්තරයක් මුළුල්ලේ සම්ප්‍රදායිකව බද්ධ වී තිබුණු ගම සහ පවුල් සංස්ථාව මුහුණදෙන ඛේදවාචකයත් "තලමල පිපිලා" නාට්‍යයට කේන්ද්‍රීය විෂයයවේ.

දර්ශන

මංගල දර්ශනය - "තලමල පිිපිලා" නාට්‍යය මුල්වරට රංග ගත වූයේ 1988 ඔක්තෝම්බර් මස 05 වන දින සවස 6.30 ට කොළඹ හැව්ලොක් ටවුමේ ලූම්බිණි රඟහලේදීය.

විචාර
"තලමලට" පෙරවදනක් - ධර්මසේන පතිරාජ විසිනි

කාර්ය සාධන කලාවන් (Functional Arts) වැඩවසම් යුගය සමඟ බැඳී පැවති අන්දම මිනිස් වෙසින් අපට පෙන්වන ප්‍රබලතම ප්‍රකාශනයන් වූයේ නිත්තවෙල ගුනයා, සුරඹා, හීන්බබා ධර්මසිරි ඇතුළු පාරම්පරික නැට්ටුවන්ය. ඔවුන්ගේ රංගන තමන් ජීවත් වූ යුගයේ අන්තර්ගතයෙන් වියෝ කරනු ලැබුවද, අපේම පාරම්පරික කලා තාක්ෂණයේ සූක්ෂමතාවය, සංවේදීතාව සැබෑ උරුමයන් ලෙසින් අප වෙත ප්‍රදානය කරන රූපනයන්ය.

වහල් යුගයේ කලාව කුමක්ද ? වැඩවසම් යුගයේ කලාව කුමක්ද ?

මෙරට වැඩවසම් සමාජ සංවිධානය මූලික වශයෙන්ම රාජකාරි ක්‍රමය මත පදනම්ව තිබු බව එම සමාජ ක්‍රමයෙන් ශේෂව තවමත් පවතින නටබුන් පිරික්සීමේදී පෙනී යයි. කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරි ක්‍රමය විසින් රජුට හෝ පන්සලට හෝ කරන විවිධ රාජකාරි වෙනුවෙන් වැසියනට ඉඩම් භුක්තිය පවරනු ලැබීය. රජවාසලට සහල් සපයන්නවුන්ට මෙන්ම දළදා මාලිගාවේ පන්තේරුකාරයන්ටද, නලා පිඹින්නන්ටද, එක සේ ගම් බිම් බෙදා මෙහෙවර ගැනීම එම ක්‍රමයේ සිරිතක්ව පැවතින. මෙසේ හෙයින් නැටුම් ගැයුම් වැයුම් වැනි කලාවන් පුහුණු කළ ගෝත්‍ර හා ශ්‍රේණිවල වූවන්ට එම කලා නිර්මාණ කාර්යය සඳහා යෙදිය හැකි වුයේ කුඹුරු සී සා අස්වැද්දීමෙන් හා අස්වනු කැපීමෙන් ඉතිරි වූ කාලය පමණි. කලාව රාජකාරියක් වීමත්, එකී කලාකරුවන් තුළ අවශ්‍යයෙන්ම ඇතිවිය යුතු විශේෂඥතාවය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවේකය නොලැබීමත්, එම කලාවන්ගෙන් අපේක්ෂිත කාර්යය ව්‍යාජ වෘත්තිය පදනමකින් කොටු කිරිමත් නිසා මෙම කලාකරුවෝ ආකෘතිය සමතික්‍රමණය කෙරෙන අන්තර්ගතය විනිවිද යා නොහැකි අන්ධයින් රැළක් මෙන්ද කලා තාක්ෂණය විසින් නටවන රූකඩ රැසක් මෙන්ද යුත් සංදර්ශකයන් පිරිසක් බවට පත් වූහ. රාජ්‍ය මහා මාත්‍යාදීන් පමණක් නොව යතිවරයන්ද අයත් වූ ප්‍රභූ පන්තියේ රසාස්වාදනය පමණක් පිණිස බිහිවූ මෙම කලාව, ස්වකීය පන්තියටම කලාව අහිමි කර වූ කලා ව්‍යාපාරයක් වූයේය.

වැඩවසම් ක්‍රමය අභිබවමින් ධනවාදය ව්‍යාප්ත වෙත්ම මෙම කලාකරුවෝ අන්දමන්ද වූහ. ඔවුන්ගේ සිත් සතන් තුළ සැක සංකා පහල විණ. තමන් මුහුණ දෙන අර්බුදය ජයගත හැකිවූවෝ, රැල්ලට එකතුවූවෝ සමාජක්‍රමය සමඟ පොර බදා ජය ගත්තෝය. පනීභාරතයන් එවැන්නෙකි. (මෙම සටහනට පනිභාරතයන්ගේ නම එක් කළේ එතුමා පිළිබඳව මා තුළ පවතින අනුපමේය වූ භක්ති ප්‍රණාමය පුද කිරිමේ ආධ්‍යාසය සමඟිනි.) ඇතැම් ව්‍යාජ කලාකරුවෝ පෙරසේම වන්දි භට්ට කලාව ප්‍රදර්ශනය කරමින් ස්වකීය ආත්ම සාධනය අරමුණු කොට පාරම්පරික කලාව වෙළදාම් කිරිමේ නියුක්ත වූහ. (මෙවැන්නවුන්ගේ නම් සිය ගණනින් මතකයට එන අතර, ඇතැමුන් මැතිසබය දක්වා පාර කපා ගත් ආකාරය පිළිබඳ නිදසුන් දැක්වීම අසීරු නොමැත.) පාරම්පරික කලා විඥානය ඉදිරියට ගෙනෙමින් තමන්ගේ මුල් සිඳ නොගත් ඇතැම් කලාකරුවෝ සත දෙකේ මුද්දරයෙහිත් සංචාරක පෝස්ටර් වලත් ස්වකීය කලා කෞෂල්‍ය අවිඥානකව ප්‍රදර්ශනය කළහ. නිත්තවෙල ගුනයා එවැන්නෙකි.

පාරම්පරික කලාවන් පුනරුත්තාපනය කිරිමේ වෙස්මුහුණ පැළඳ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්සවශ්‍රීයෙන් කාර්ය සාධන කලාකරුවන්ට රාජ්‍ය සම්මාන පිරිනැමූ අවස්ථාවක, සම්මාන බර අතැතිව තමන් විසු ගම් බිම්වලට යාගත නොහැකව, බස් නැවතුම්වල අතරමං වූ කලාකරුවෝද මෙරට විසූහ. සුරඹා එවැන්නෙකි. තමා දැල්වූ ආලෝක ධාරාවෙන්ම ගිනිගෙන දැවී මිය ගිය මෙබඳු කලාකරුවෝ අපට අහිමි වූවා නොවේද ?

අදීනව, අහිංසකව ස්වකීය කලා තාක්ෂණය රැකගත් කලාකරුවන් වර්තමානයේ පමුණුවා ඇත්තේ කොතැනටද? භික්ෂූන් නිළමේවරුන්ද ප්‍රදර්ශනය කරන පෙරහැරවල මෙන්ම නොසංඩාල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ උත්සව පෙරටුවේ සංදර්ශන පැවැත්වීමටය. වැඩවසම් සමාජ සංවිධානයේ මෙන්ම දැනුදු, පාලකයන්ගේ උවමනාවන්ට පිටින් යාමට ඔවුනට ඇති ඉඩ ප්‍රස්ථාව සීමා කොට නැද්ද ? එයින් නොනැවතී තම උරුමයක් වූ කලා තාක්ෂණය වර්ධනය කොට කලාවේ නිම්වළලූ පුළුල් කිරීමට අවශ්‍ය ඥානය භාවිතයක් කෙරේ ඔවුන් යොමු කොට පුහුණු කිරීමට ඉඩ සලස්වා ඇද්ද? යටකී ප්‍රශ්ණවලට ඇති එකම උත්තරය වූ කලී "නැත" යන්නයි. අද පාසැල්වල උගන්වන නැටුම් ගැයුම් වැයුම් වලින් ද පෙනෙනුයේ ඉහත දැක්වූ කාර්ය සාධන කලාවන් යළි පවත්වා ගැනීමට පාලක පන්තියට ඇති ඕනෑකමයි. ඒ අනුව බලන විට බංකොලොත් දේශපාලඥයන් ඉදිරියේ පාසැල් ළමුන් නොනටන, නොගයන, නොවයන උත්සව මෙහි පවත්වා නොතිබුනේද?

"තලමල" අපට හඬ නඟා කියනුයේ මෙම විපත්තිය නොවේද?