ප්‍රධාන කරුණු

පලමු නාට්‍යය

අස්ප ගුඩුං

පලමු ටෙලි නාට්‍යය

ඇබැද්දිය

පලමු චිත්‍රපටිය

හඳයා

පලමු පොත

වැහි එනතුරු

වෘත්තීය ජීවිතය

ආරම්භක අවදියේ සිට අද දක්වා (1972 )

විශ්ව විද්‍යාලයෙන් පිටවී යලි ගමට ගොස් හා හා පුරා රැකියාවකට කියා පිටත්වුනේ, හඟුරන්කෙත තිස්සපැල පිරිවෙනට. ඒ භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙස. පිරිවනේ වැඩවාසය කල සහ බැහැරින් පැමිණි කුඩා සාමනේර හිමිවරුන්ට ශිල්ප ඥාණය ලබා දුන් ඒ මාස හය ඉදිරි ජීවිතයට ශක්තිමත් අත්තිවාරමක් වුනා. මාසික වැටුප රුපියල් හැටපහයි. මුල්ම වැටුපෙන් රිකිල්ලගස්කඩ හන්දියෙන් බැස අම්මාට වොයිල් සාරියක් (රු. 32/-) සහ ගෙදරට බඩුමුට්ටු ටිකක් ද ගෙන නිවසට ඇතුලුවුනේ රටක් රාජ්‍යයක් ලද මහාරාජයකු වගේ කියලයි මතක.

දෙවනුව නුවර එලිය මැතිවරණ කාර්‍යාලයට අනුබද්ධ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කන්තෝරුවේ අනියම් ලිපිකරු. පරිපාලන විභාගයෙන් සමත් වුනෙත් මෙහෙ ඉන්නකොට. අවසන් සම්මුඛ පරීක්ෂණය ෆේල්. වසරකට පස්සේ නිශ්ශංක දිද්දෙනිය විසින් මාව කොලඹට කැඳවාගෙන ගියේ නාට්‍ය ලෝකෙට ඇතුලුවෙන්ටම බලාගෙන. තුන්වෙනි රැකියාවට යන්න වුනේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කන්තෝරුවේදී ඕනැවට වඩා කලා කටයුතුවල නියැලීමේ දඬුවමක් විදියට. ගුවන්විදුලියත්, ලෙඛන කලාවත්, නාට්‍ය පුහුණුවීමත් සරුසාරෙටම සිද්ද වුනු කාලයක්. දඬුවම් මාරුවීමේ කන්තෝරුව වුනේ ශ්‍රී ලංකා වරාය කොමිසම. දැන් හිතනකොටත් ඇඟ වෙවුලනවා. ඒ තරමටම එහි වැඩ අමරුයි. මට අල්ලගන්ටම බැරිවුනා. සිල්වා කියල කළුතර ප්‍රගතිශීලී මිතුරෙක් තමයි ශක්‍රදෙය්යො වගේ උදව්වට ආවේ. එතැනින් මාරු කලෙත් වැඩ බැරි හින්දම. පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව අලුත් කන්තෝරුව. 1971 කැරැල්ලෙ වැරදිකරුවන් යයි හඳුනාගත් අයව පුනරුත්ථාපනය කිරීමේ වැඩපිලිවෙල. අනේ ඒ හුඟ දෙනෙක් මා එක්කම පේරාදෙනියෙ එකට අකුරුකරපු අය. හැබැයි ඒ කන්තෝරුව හරිම සුන්දර තැනක් වුනා.

මහවැලි සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන සහකාර තනතුරක් ලැබුනෙ මේ කාලයේදී. ලිපිකරු තනතුරට ආයුබෝවන් කියලා කොලඹටත් ආයුබෝවන් කියලා ඈත හද්දා වන්නියේ කලාවැව පරිශ්‍රයට ගියා. එච් කලාපය, මහවැලි ව්‍යාපෘතියට යටවුනු ගෙවල් හිමියන්ට අලුතින් ඉඩම් බෙදාදීම තමයි රාජකාරිය. කූඩාරම් ජීවිතේ. මහ වනයේ වල් අලි සමඟ. හැබැයි සුන්දරතම අද්දැකීමක්. හැම සිකුරාදාම කෝච්චියෙන් කොලඹට. සති අග නාට්‍ය නටලා ආයිත් සඳුදා පාන්දර කලාවැවට. නවකතාවකුත් ලියවුනා 'දවස තවමත් තරුණයි' කියලා. වසර දෙකකට පස්සෙ අපහු කොලඹට. අවුරුදු 17ක් විතර මහවැලියෙම. නොයෙක් තැන්වල. හැබැයි කොලඹම. මොකද නාට්‍ය උණ අංශක 300 ට විතර නැගපු නිසා.

1991 විතර රංඩුවෙලා ගෙදර ගියා. අවුරුදු හතරක් විතර කුලීවැඩ තමයි කෙරුවෙ. ඒ කිව්වෙ නාට්‍යත් එක්කම. 1995 දී තව අලුත් රස්සාවක් රජයෙන්ම බලෙන්ම වගේ ලබාදුන්නා. ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ වැඩසටහන් ධූරය. නාට්‍ය කලාව පිලිබඳව හුඟක් දේ ආසාවෙන් කරන්නට හිතා හිටියත්, විවිධ හේතු නිසා ඒවා හීන බවට විතරක් පත්වුනා. වසර දෙකහමාරකට පස්සෙ හැන්දෑවක වැඩ ඇරිල ගෙදර ඇවිත් නැවතුනා නැවතුනාමයි, තවම ගෙදර.

ස්ථිර රැකියාවක් විදියට නොවුනත් විශ්ව විද්‍යාල කීපයක බාහිර කතිකාචාර්ය කෙනෙකු විදියට සේවය කරන්නට ලැබීම ජීවිතයේ ලද අතිශය භාග්‍යමත් අවස්ථාවක් විදියටයි හිතෙන්නේ.

සිනමාව (1976)

කුඩා වයසේ පටන්ම චිත්‍රපට බලන්නට තිබුනේ පුදුම ආසාවක්. ලඟම සිනමා ශාලාවක් තිබුනෙ මහනුවර. සැතපුම් 25ක් පමණ දුරින්. හඟුරන්කෙත සහ රිකිල්ලගස්කඩ මංසන්ධිවල වරින්වර තාවකාලිකව අටවන කූඩාරම් වල චිත්‍රපටි පෙන්නනකොට එක දෙකක් බලන්ට අවසර තිබුනා. අයියලා අක්කලා එක්ක පයින්ම ඇවිත් නරඹනවා. නැරඹූ පලමු චිත්‍රපටය දෛව විපාකය. ඊලඟට කැලෑහඳ.

සිනමා කැමරාවකට පළමුවතාවට මුහුන දුන්නේ 1974 දී විතර, ධර්මසේන පතිරාජ නිපදවූ වාර්තා චිත්‍රපටියකට. රූගත කලේ කොලඹ ඩික්මන් පාරෙ අංක 24 දරණ තැන පිහිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ගරාජයේ. හඬකැවීම් වලදී මුල්වතාවට විශාල තිරයේ මගේ මුහුන දුටුවම ඇඟ හිරිවැටිල ගියා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නිශ්ශංක දිද්දෙනිය.

ඊලඟට ටයිටස් තොටවත්තයන්ගේ 'හඳයා' චිත්‍රපටය. පෝනි රේස් තරඟයේ නිවේදක ලෙස රඟපෑ කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ සහය නිවේදක ලෙසට මම රඟපෑවා. ටයි මහත්තයගෙම වාර්තා චිත්‍රපටයක් ඊලඟට. සුනිල් ආරියරත්නයන්ගේ 'සිරිබෝ අයියා' ඊලඟට. හොඳම සහය නළුවා විදියට හතර වතාවකුත්, ජාත්‍යන්තර උළෙලකදී හොඳම නළුවා විදියටත් සම්මාන ලැබුනා.

1980 දශකයේදී චිත්‍රපටියක් අධ්‍යක්ෂනය කරන්නට පටන් ගත්තා. මගේම නවකතාවක් වූ 'දවස තවමත් තරුණයි' නවකතාව ඇසුරින් ප්‍රසන්න විතානගේ ලියූ තිරකතාවක්. එහි රූගත කිරීම් කලේ අනුරාධපුර. චිත්‍රපටියෙන් 1/3 ක් පමණ රූගත කළා. මුදල් අහේනියක් නිසා කණ්ඩායමට කොලඹ එන්ට සිදුවුනා. ආයිත් යන්ට ලැබුනෙ නෑ.

රූපවාහිනිය (1980)

රූපවාහිනිය ලංකාවට ආවෙ 1979 විතර. ඒ වසරේදීම දයානන්ද ගුණවර්ධනයන් මෙහෙයවූ රූකඩ වාර්තා රූපවාහිනී නිර්මාණයකට හඬ කැවීමට ලබා දුන්නා. පරාක්‍රම නිරිඇල්ලගේ 'ඇබැද්දිය' තමයි මුල්ම ප්‍රධාන චරිතය. ඊ ලඟට සිසිර කොතලාවල සමඟ 'සිංදුයි බිංදුයි' රඟපෑවා. එය රචනා කලෙත් මමමයි. ළමා රංගන කියල මම රචනා කරපු නිර්මාණ කීපයකත් රඟපෑවා මතකයි. කැපී පෙනෙන රූපවාහිනී නාට්‍ය කීපයක් තමයි 'ගම්පෙරළිය', 'කන්දෙගෙදර', 'දූ දරුවො', 'සකිසඳ එලියස්' .

රූපවාහිනී නාට්‍ය කීපයක් රචනා කලා. 'රම්‍ය සුරම්‍ය', 'දොළොස් මහේ අපි', 'තුන්පත් රටාවක ලස්සන', 'ඊයේ අද සහ හෙට' ඒවායින් කීපයක්. සම්මානත් ලැබුනා. නාට්‍ය කීපයක් අධ්‍යක්ෂණය කලා. 'සෙක්කු ගෙදර', 'රංසිරිගේ සංග්‍රාමය', 'මහපොළව අපේ නොවේ', 'තුන්පත් රටාවක ලස්සන' ඒවායින් කීපයක්.

ලේඛණ කලාව (1968)

නිර්මාණ ලෝකයේ මගේ ප්‍රථම ප්‍රේමය ලේඛන කලාව කියලයි මතක. කුඩා වියෙහි පටන්ම කවි, ළමා කතා ලිව්වා. 'ටිකිරි' සහ 'රසකතා' පුවත්පත්වල ඒවා පළවුනා. හින්දි සින්දු වලට සිංහල වචන දාලා ලිව්වා. ළමා සහ තරුණ වියේදී කෙටිකතා ලිවීම ඉතා ප්‍රියජනක දෙයක් වුනා.

මුද්‍රිත පළමු පොත වුනේ 'වැහි එනතුරු' නැමැති කෙටිකතා පොත. ඒ පේරාදෙනි සරසවියේ දෙවැනි වසරේදී. මිළ රුපියලයි.

දෙවැනි පොත කවි පොතක්. 'දොලොස් මහේ පහන'. සුනිල් ආරියරත්න සහ බුද්ධදාස ගලප්පත්ති එක්කයි. කවි ලියලා මුද්‍රණය කලේ අයි.පී.බී මුද්‍රණාලයේ. ඊලඟට කෙටි කතා පොතක් කලා බුද්ධි එක්කම. 'පියසේන සහ කුමාරිකාව' කියලා. 'දවස තවමත් තරුණයි' නවකතාව. 'මිනිහට නින්ද යන්ට ඇති' කෙටි කතා පොත. 'සිංදුයි බිංදුයි' සහ 'ගල්වඩුරාල' ළමා රංගන පොත. මාගේ වේදිකා රචනා සියල්ලම වගේ මුද්‍රණය කලා. අන්දරේලා, කණේරු මල්, ගුරු තරුව ඉන් කීපයක්. පොත් හතරකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුනා.

විවිධ සඟරාවලට, පුවත්පත්වලට, ශාස්ත්‍රීය නිබන්ධන ඉදිරිපත් කළා. 'ආචාර්ය උපාධිය සඳහා කළ පර්යේෂණ නිබන්ධනය ද සංස්කරණය කොට මුද්‍රණය කලා. 'සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය' මැයෙන්.