ජීවන තොරතුරු සංෂිප්තව

නම

ජයලත් මනෝරත්න

උපන් ගම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ග්‍රාමයේ

උපන් දිනය

1948 ජූනි මස 12 වෙනිදා

මූලික අධ්‍යාපනය

දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලය

ජීවිතය ගැන හැරී බැලීමක්

ළමා කාලය

ස්වභාව සෞන්දර්යයෙන් අනූන, නිස්කලංක පරිසරය සහ සාධු ගැමි ජනතාව පැතිර ගිය දෙහිපේ අති සුන්දර ගම්මානය, ළමා දිවිය සතුටින් පුරවා තැබුවා.භෞතික ජීවිතයේ දුෂ්කරතා, අගහිඟකම්, අභියෝග කොතෙක් වුවත් අම්මා, තාත්තා සහ වැඩිමල් සොයුරු සොහොයුරියන්ගේ ආදරය, රැකවරණය මැද ජීවිතය අතිශය සුරක්ෂිත වුනා.

කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ලෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුනු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් වූවා.

පාසැල් කාලය

දෙහිපේ ප්‍රාථමිකයේ ළපැටි වියත්, පහේ ශිෂ්‍යත්වයෙන් ජය ලබා පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ළමා වියත් ගෙවී ගියේ එකම වසරකදී හෝ අසමත්වීම නැමැති අත්දැකීම නොලබමින්, බාලක නේවාසික පරිසරයේ දෛනික සැලසුම් සහගත ජීවිතයත්, ඉගෙනුම් මගෙහි මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වල සමතුලිතව කාලය කළමනාකරණය කර ගැනීමත්, විශේෂයෙන් අවසන් වසර දෙක තුල ක්‍රීඩාව සහ වේදිකා නාට්‍ය විෂයන් හී උපරිම ඵල නෙලාගැනීමත් නිසාම පොරමඩුල්ල ජීවිතය ඉදිරි ගමන් මඟට ශක්තිමත් අත්තිවාරමක් වුනා.

පී.සෙනරත්, පී.බී. රාසිංගොල්ල විදුහල්පතිවරුන්, වික්ටර්.ඊ.පීරිස්, සුනිල් ශ්‍රීගහනන්ද, අමුණුගම ගුණසේන ගුරුවරුන් මෙන්ම රාජපක්ෂ, වේරගම, සමරදාස, ගලගොඩ, රත්නායක, ප්‍රනාන්දු, ධර්මදාස, රෝගුස්, ප්‍රේමදාස, සිල්වා, නයනානන්ද ඇතුලු තවත් ආචාර්ය වරුන්ද සමකාලීන මිතුරු මිතුරියන්ද පාසැල් ජීවිතය අධ්‍යාපනය අතින් මෙන්ම සුන්දර මතකයක් තුලින් ද ජීවය ලබා දුන් පරිසරයක් මවා දුන්නා.

උසස් අධ්‍යාපනය

සිරිලක පමණක් නොව අග්නිදිග ආසියාකරයේම අති සුන්දර සහ අති විශිෂ්ට සරසවියක් වුණු පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත්වීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් වුනා. උසස් අධ්‍යාපනයෙහි ප්‍රශස්ථ ක්‍රමික පාඨමාලා සැකැස්ම මෙන්ම එවකට රටෙහි සිටි ශ්‍රේෂ්ඨතම ගුරු දෙවිවරුන් ගේ සෙවන ද අනාගත දිවිය තීරණය කිරීමේ සාධනීය සාධක වුනා.

මේ සැමටත් වඩා සිංහල නාටකයේ නව වංශකතාව ආරම්භ කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙම කාල වකවානුවේදී සිංහල පිලිබඳ අපගේ ආචාර්යවරයා බවට පත් වීමත්, එතුමාගේ නවතම නාට්‍යය වූ 'ප්‍රේමතෝ ජායතී සෝකෝ' හී ප්‍රධාන භූමිකාව සඳහා තේරීමත් කලාභාවිත දිවි ගමනේ ශක්තිමත් පදනම වුනා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියාපිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී.ඊ.ඊ.ප්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ.බී දිසානායක, මහාචාර්ය ම.ව.සුගතපාල ද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මන්ඩල, මහාචාර්ය කේ.එන් ජයතිලක, මයිකල් ප්‍රනාන්දු, කේ.එන්.ඕ.ධර්මදාස, ඒ.කේ.ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් සුසැදි ආචාර්ය මණ්ඩලය, මුලු මහත් විශ්වයේම දැනුම අප ඉදිරියෙන් ගෙනැවිත් තැබුවා.

අනෙක් අතට පේරාදෙනි පරිසරය විශේෂයෙන් හන්තාන කන්ද සහ මහවැලි ගංගාව අවට වූ තුරු ලතා අපගේ අධ්‍යයන ජීවිතය සංස්කෘතික ජීවිතය සහ සෞන්දර්ය ලෝකයද පුබුදුවා ලූවා. භද්‍ර යෞවනයේ චමත්කාරය සහ ආදර හැඟුම් ද විසින් අපගේ ශිෂ්‍ය ජීවිතය වඩාත් උද්දීප්තිමත් කරණු ලැබුවා. ජීවිතයේ සුන්දරතම අවදිය ඒ පේරාදෙනි තෙවසරම පමණයි නේද?